CRIWMP

Blog, News

වැවක මෙහෙයුම් හා නඩත්තුව ඇයි වැදගත්…..!

ඔබ අසා ඇති  හැඳි නොගා හදන හොද්ද පිළිබඳව පුරාණ කියමන  අසා ඇතැයි මා සිතමි. එහි තේරුම නම් හදන හොද්ද  රසවත් මෙන්ම පිළිවෙලකට සාදා ගැනීමට නම් හොඳට හැඳි ගගා හැදිය යුතුය.  නිසි ආකාරයට  නඩත්තුවක් සහ මෙහෙයුම් කටයුතු සිදු නොකරන වැවත් හැඳි නොගා හදන හොද්දත් දෙකම ගඟට කපන ඉනි වැනිය.

මේ නිසාම අපි දකිනවා දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය. (වැව් ගම් පුබුදුව) මගින් එල්ලංගා පද්ධති වලට අයත් වැව් ඉතා හොඳ සැලැස්මකට අනුව ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පසුව මෙහෙයුම් සහ නඩත්තු කටයුතු පසුකාලීනව සිදු කර ගෙන යෑමට අවශ්‍ය ඉතාමත් උසස් තත්වයෙන් යුතු  සියලු උපකරණ (Equipments) අප ව්‍යාපෘතිය මගින් ගොවි සංවිධාන වෙත  ප්‍රදානය කරනු ලබයි. මෙම උපකරණ ඵලදායි ලෙස භාවිතා කරන ආකාරය පිළිබඳව උපදෙස් සහ මග පෙන්වීම් නිරතුරුවම ලබාදෙයි.

ඉතා විශාල මුදල් ප්‍රමාණයක් වැය කර ප්‍රතිසංස්කරණය කරන ලද වැව් වසර කිහිපයක් යන්නටත් පෙර වැව් බැම්ම දිගේ ඇවිදන් යාමටත් බැරි තරමට වල් බිහි වී තිබෙන දසුන් ද අප හට දක්නට ලැබේ. එමෙන්ම ලබාදුන් උපකරණ නිසි ආකාරයට භාවිතා කරමින් උපදෙස් සහ මගපෙන්වීම වලට යටත්ව නෙතට ප්‍රිය උපදවන ආකාරයට නඩත්තු කටයුතු සිදු කළ වැව් ද දක්නට ලැබේ. මිනිසුන් ආකල්පමය වශයෙන් වෙනස් විය යුතු කාලය එළඹ ඇත. අද මිනිසුන් හන්දියක්  හන්දියක් ගානේ රට කරවන හැටි කතාවේ. නමුත් ලබාදුන් උපකරණ භාවිතා කරමින් බත සරි කරදෙන වැවට උපරිම සාධාරණයක් ඉටු කරනු ඇතැයි ද ඒ සඳහා අවශ්‍ය ප්‍රජාව බලමුලු ගැන්වීමේ වැඩපිළිවෙලවල් තව තවත් පුළුල් කරමින් වැව දුටු කල ගොවිතැන් කටයුතු සිදුකිරීමට ගත සිත නිරන්තරයෙන් ඇදී යන ආකාරයට  වැවක මෙහෙයුම් සහ නඩත්තු කටයුතු  සිදුවන්නේ නම් ව්‍යාපෘතියේ  සහ සුවහසක් ගොවි ජනතාවගේ  අනාගත බලාපොරොත්තු මල්ඵල ගැන් වෙනවා සේම ලෝක උරුමයක් ව පවතින එල්ලංගා පද්ධති චිරාත් කාලයක් සුරක්ෂිත වෙමින් අනාගතයට දායාද වේ.

අතුල ප්‍රසාද් කරුණාරත්න දිස්ත්‍රික් සම්බන්ධීකාරක  කුරුණෑගල වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය.