එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1993 වසරේ දෙසැම්බර් 29 වන දින, ප්‍රථම වරට ලෝක ජෛවවිවිධත්ව දිනය ලෙස දෙසැම්බර් 29 වන දිනය නම් කරන ලදි. කෙසේ නමුත්, දෙසැම්බර් මස අවසානයේ මෙවැනි වැදගත් දිනයක් සැමරීමේ දී මුහුණදෙන ප්‍රායෝගික ගැටළු සලකා බලා සහ ජෛවවිවිධත්ව සම්මුතිය, සම්මත කරගත් දිනය ද සුවිශේෂ දිනයක් ලෙස සිහිකිරීම වැදගත් හෙයින් 2000 වසරේ සිට, මැයි 22 වන දිනය ලෝක ජෛවවිවිධත්ව දිනය ලෙස නම් කර ඇත. එක් එක් වර්ෂයක දී ජෛවවිවිධත්වයේ වැදගත්කම පදනම් කරගත් තේමා යටතේ මෙම දිනය සමරනු ලබන අතර තිරසාර සංවර්ධන අරමුණු අනුමත වීමෙන් පසු තිරසාර සංවර්ධනය සඳහා ජෛවවිවිධත්වයේ වැදගත්කම තේමා කරගනිමින් වාර්ෂිකව ලෝක ජෛවවිවිධත්ව දිනය සමරනු ලබයි. මේ යටතේ, ආහාර සහ පෝෂණ සුරක්ෂිතභාවය, දේශගුණ විපර්යාසවලට අණුහුරු වීම, ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ආවරණය වන තිරසාර සංවර්ධන අරමුණු ඉටුකරගැනීමේ දී ජෛවවිවිධත්වයේ ඇති වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම්, ජෛවවිවිධත්වය තිරසාර භාවිතය සඳහා යොදාගන්නා ක්‍රියාමාර්ග, සංරක්ෂණ ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සහ සංරක්ෂිත ජීවීන් සහ ප්‍රදේශ ප්‍රකාශයට පත්කිරීම වැනි කටයුතු අප රට තුල මෙන්ම ලෝකය පුරා ද ක්‍රියාත්මක කරනු ලබයි.
මේ වන විට රට තුල පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය සමග පැනනැගී ඇති ආහාර අර්බුදයත් සහ ඒ සමග බැඳී තිබෙන ආහාර සහ පෝෂණ සුරක්ෂිතභාවය බිඳවැටීමත් පාලනය කිරීමට කෙටිකාලීන මෙන්ම දිගුකාලීන පිළියම් සෙවීමේ දී ගෝලීය මෙන්ම දේශීය ජෛවවිවිධත්වය තුලින් සුවිශේෂී දායකත්වය ලබාගැනීමේ හැකියාව ඇත. ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය සමග ඍජුව සම්බන්ධ වන තිරසාර සංවර්ධන අරමුණුවල දෙවන අරමුණ ඇතුළු අනෙකුත් අරමුණු 16 සපුරාගැනීම සඳහා කටයුතු කිරීමේ දී ජෛවවිවිධත්වය සතු විභවය සහ කාර්යභාරය ඉතා ඉහලයි.
ජෛවවිවිධත්වය සැලකීමේ දී කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්‍රිත ජෛවවිවිධත්වය (Agrobiodiversity and associated biodiversity) යන උප ක්ෂේත්‍ර ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය සඳහා ඍජුව වැදගත් වේ. අප විසින් ආහාර සහ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්න විවිධ වූ පැළෑටි, ගස් වැල් සහ ලොකු කුඩා සත්ත්ව විශේෂ සහ ප්‍රභේද කෘෂි ජෛවවිවිධත්වයට අයත් වේ. එසේම, වගාකරන භෝග විශේෂ සහ භෝග ප්‍රභේද, ඇතිකරන ගොවිපළ සතුන් මෙන්ම වගබිම්වලට සහ ගොවිපළවල්වලට බැහැරින් ස්වාභාවික හමුවන ආහාර සඳහා නෙලාගන්න සහ එකතු කරගන්න පැළෑටි, ගස්වැල් සහ සත්ත්ව විශේෂ ද කෘෂි ජෛවවිවිධත්වයට අයත් වේ. එනම්, අප විසින් වගා කරන ධාන්‍ය, එළවළු සහ පලතුරු ආදී විවිධ වූ ආහාර බෝග, හරකුන්, කුකුළන් ඇතුළු ගොවිපළ සතුන් මෙන්ම ගොවිබිම්වල ඉබේ වැවෙන සහ ගොවිපලවලින් බැහැර ස්වභාවික පරිසරයේ වැවෙන ආහාර ලෙස භාවිතා කරන ගස්වැල්, පැළෑටි, සහ සතාසිව්පාවුන්, ජලජ ජීවින් සහ කෘමින් ද කෘෂි ජෛවවිවිධත්වය ට අයත් වේ.
ආහාර ලෙස ඍජුව දායක නොවන එහෙත් කෘෂි පාරිසරික පද්ධතිවල පැවැත්ම වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාරිසරික සේවා සපයන ජෛවවිවිධත්වය, ආශ්‍රිත ජෛවවිවිධත්වය ලෙස සරලව හඳුන්වනවා. ඒ යටතේ, පාංශු පෝෂක චක්‍රීයකරණය සඳහා දායකවන ගැඩවිල්ලන්, පාංශු කෘමින් වැනි මහා ජීවින් සහ පාංශු ක්ෂුද්‍රජීවින්, පළිබෝධයකින් වගේම පළිබෝධයකින්ට හානි කරන කෘෂිකාර්මික ව හිතකර කෘමීන්, බෝග අස්වනුවලට ඍජුව වැදගත් වන පුෂ්ප පරාගනය සඳහා දායකවන මීමැස්සන්, සමනළයින් වැනි පරගකාරක කෘමීන් සහ වවුලන් වැනි ජීව විශේෂ ඇතුළත් වෙනවා.
ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය සඳහා, විශේෂයෙන්ම වර්තමානයේ මුහුණදෙමින් සිටින ආහාර අර්බුදය හමුවේ, කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්‍රිත ජෛවවිවිධත්වය වැදගත් වන්නේ කොහොම ද? දැනට හඳුනාගෙන ඇති සහ වාර්තාකර ඇති ආකාරයට වසර දසදහසකට වඩා ඉතිහාසයක් ඇති කෘෂිකාර්මික ශිෂ්ටාචාරය තුල ගස්වැල් සහ පැළෑටි විශේෂ 10000 ට වඩා වැඩි සංඛ්‍යාවක් මිනිසුන් විසින් ආහාර ලෙස ලොව පුරා විවිධ ප්‍රදේශවල විවිධ සංස්කෘතීන් වල භාවිතා කරන බව සඳහන් වෙනවා. එයින් විශේෂ 6000 ක් පමණ වගාකරන භෝග විශේෂ වන අතර ඉතිරිය භෝග වන දර්ශ සහ භෝග වල් දර්ශ සහ වගා නොකරන එහෙත් ආහාර සඳහා නෙලාගන්නා/ එකතුකරගන්නා ගස්වැල් පැළෑටිවලින් සමන්විත වෙනවා. ඒ වගේම, ආහාර සඳහා යොදාගන්න සතුන් සැලකීමේ දී විශේෂ 40 කට අයත් ප්‍රභේද 7500 ට වැඩි සංඛ්‍යාවක් ගොවිපළ සතුන් ලෙස භාවිතා කර ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් මේ වන විට ඉහත ශාක සහ සත්ත්ව විශේෂවලින් අතලොස්සක් පමණක් ලෝකයේ ආහාර සැපයුම සඳහා දැඩි ලෙස යොදාගනිමින් සිටිති. එනම්, ඉහත ශාක විශේෂවලින් 200 පමණ බහුලව ආහාර නිෂ්පාදනයට යොදාගන්නා නමුත් ගෝලීය ආහාර භෝග නිෂ්පාදනයෙන් 66% සඳහා දායක වෙන්නේ එයිනුත් භෝග විශේෂ 9 ක් පමණි. මස් මාංශ සහ බිත්තර ඇතුළු ගොවිපළ නිෂ්පාදන සඳහා යොදාගන්නේ ද ගොවිපළ සත්ත්ව ප්‍රභේද ඉතා සීමිත සංඛ්‍යාවක් පමණි. මසුන් ඇතුළු ජලජ විශේෂ සැලකුව ද ඉහත තත්ත්වයේ වෙනසක් නැත. එනම්, විවිධත්වයෙන් ඉතා ඉහළ වූ ආහාර පද්ධති සීමිත ආහාර සංඛ්‍යාවකට කොටු වී ඇත.
ශ්‍රී ලංකාව ද කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්‍රිත ජෛවවිවිධත්වයෙන් ඉතා පොහොසත් රටකි. එනම් , වගා කරන බෝග විශේෂ සහ බෝග ප්‍රභේද විවිධත්වය මෙන්ම වගා නොකරන සහ වනජ ආහාර ශාක විවිධත්වය ඉතා ඉහළයි. එහෙත්, පසුගිය දසක කිහිපයේ ආහාර නිෂ්පාදන පද්ධතියේ මෙන්ම සමාජ ආර්ථික වශයෙන් සිදුවූ වෙනස්කම් සමග අපේ ආහාර පද්ධතිය ද තෝරාගත් බෝග විශේෂ සහ බෝග ප්‍රභේද අතලොස්සකට සිමා වී ඇත. චිරාත් කාලයක් අපගේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවයට දායක වූ ගස් වැල් පැළෑටි විශාල සංඛ්‍යාවක් නොසලකා හැර ඇති සහ/හෝ ඌන භාවිත තත්ත්වය පත්ව ඇති අතර ඒ හා බැඳී පැවති දැනුම් පද්ධති සීග්‍රයෙන් අහිමිවෙමින් පවතී.
කෙසේ නමුත්, කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්‍රිත ජෛවවිවිධත්වය සංරක්ෂණය, ප්‍රවර්ධන සහ තිරසාර භාවිතයන් වෙත යොමුවීම තුලින් ආහාර සහ පෝෂණ සුරක්ෂිතභාවය ඉහළ නැන්වීම, දේශගුණ විපර්යාසවලට අණුහුරු වීම, ග්‍රාමීය ප්‍රජාවගේ ජිවනෝපාය සංවර්ධනය, තිරසාර කෘෂි පරිසර පද්ධති ඇතිකරගැනීම, තිරසාර ආහාර පද්ධති ගොඩනගාගැනීම ඇතුළු තිරසාර සංවර්ධන අරමුණු සපුරා ගැනීම සඳහා වැදගත් වන අංශ ගණනාවක් ශක්තිමත් කරගත හැකි බවට විද්‍යාත්මක සාක්ෂි සාධක සහ දත්ත බොහෝ ප්‍රමාණයක් ලොව පුරා වාර්තා වෙමින් ඇත. එසේම, ඒ සඳහා විශේෂයෙන්ම ගොඩනැගුණු ආයතන, උපායමාර්ග සහ වැඩසටහන් ද ඇත.
එමනිසා, අප මුහුණදෙමින් සිටින දේශපාලන සහ ආර්ථික අර්බුදයත් සමග පැනනැගී ඇති ආහාර අර්බුදය කඩිනම් විසදුම් සෙවීමේ දී කෘෂි ජෛවවිවිධත්වය සහ ආශ්‍රිත ජෛවවිවිධත්වය උපරිමයෙන් යොදාගැනීමට මෙන්ම තිරසාර කෘෂි පරිසර පද්ධති සහ තිරසාර ආහාර පද්ධති ගොඩනගාගැනීම සඳහා අපට උරුම ජෛවවිවිධත්වය යොදාගැනීම ට, වර්තමාන අර්බුද තුලින් විවෘත වී ඇති අනගි අවස්ථා අත්නොහැර යොදාගත යුතුයි.